🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දෙවැනි වතාවටත් ඒ වැරැද්ද වෙන්න මම ඉඩ තිබ්බෙ නෑ

මං කලාවට ආව කියල ඇගේ අකමැත්තක් තිබුණෙත් නැහැ.

එයාලා මට විහිළු කළා රට නෙවෙයි ලෝකෙම පීරල හොයාගත්ත සිරිමල් එතනා කියලා.

චිත්‍රපටයට තෝරගත්තටත් පස්සෙයි ඔවුන් දැනගත්තෙ මං කාගෙ කවුද කියලා.

ඒ තමයි මං දැක්ක ලස්සනම ආදර කතාව.

කුඩා වියේ පටන්ම ඇය හැදී වැඩුණේ විදෙස් රටකය. විද්‍යාඥවරියක් වීමේ ඉලක්කය හඹා යන අතරතුර සිත් කොනක පැලපදියම්ව තිබූ රංගන සිහිනය සැබෑවක් කරගන්නට ඇයට හැකිවූවේ ද නොසිතූ මොහොතකය. පවුල් පසුබිම රංගනයට පිවිසීමේ හේතුවක් වුවද සහජයෙන් ලද හැකියාවම පළිහක් කරගනිමින් පුවත්පත් දැන්වීමක් ඔස්සේ රංගනයට පිවිසීම ඇගේ විශේෂත්වයයි. දශක ගණනක් පුරා කලා අඹරේ දිලෙන තරු රැසකට නෑකම් කියන ඇය සෙනාලි ෆොන්සේකාය. කෙටි කලක් රංගනයෙන් ඈත්ව සිටි ඇය මේ වනවිට නැවතත් රංගනයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින්නීය. නවක තතු ද සමඟින් ඇය අද අපේ කතාබහට එක්වූවාය.

සෙනාලි මේ දවස්වල පේන්න නැත්තෙ ලංකාව දාල ගිහින්වත් ද?   

මං පොඩි කාලෙ ඉඳන්ම හිටියෙ එංගලන්තයේ. කොච්චර කල් මෙහේ හිටියත් ඕනෑම තැනක මගේ රට කියල මං ආඩම්බරෙන් කියන්නෙ ශ්‍රී ලංකාව කියලා. මේ ගෙදර වටපිටාව වුණත් ලංකාව වගේමයි. මගේ අම්මයි තාත්තයි හැමදේම මට පුරුදු කළේ ලංකාවෙ විදිහට. අද ඒ දෙන්නම නැති වුණත් එයාල කරගෙන ආපු දේවල් එක්ක මට දැන් එංගලන්තෙ දේවල් ගැනත් ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා මට එංගලන්තෙට එන්න වුණා. මේ වැඩ ටික සෙට්ල් කරපු ගමන්ම මං ලංකාවට එනවා. මේ වගේ සැරින් සැරේ ඇවිත් යන්න වෙනවා.

ඔබට විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදුණෙ ඔබේ කුලුඳුල් රංගනයෙන්මයි. මේ වෙද්දි පුංචි තිරය හරහා ඒක තවත් වැඩි වෙලා. රංගනයෙන් ඈත් වෙලා ඉන්න එක ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් නෙවෙයිද?

නෑ. නෑ. කවදාවත් මං රංගනයෙන් ඉවත් වෙන්නෙ නෑ. අවුරුදු එකහමාරක් විතර මට රංගනයෙන් ඈත්වෙලා ඉන්න වුණේ මගේ අම්මා නිසා. මගේ ජීවිතේ අංක එක වුණේ මගේ අම්මා. තාත්ත නැති වෙද්දි මං හිටියෙ ලංකාවෙ රූගත කිරීමක. කොවිඩ් නිසා අපි රටවල් දෙකක හිරවුණා. අවශ්‍යම වෙලාවෙ මට තාත්තා ළඟ ඉන්න බැරි වුණා. තාත්තගෙ වියෝව දරාගන්න බැරි වුණු අම්මත් අසනීප වුණා. මගේ අතින් දෙවැනි වතාවටත් ඒ වැරැද්ද වෙන්න මං ඉඩ තිබ්බෙ නෑ. ඒ අවුරුදු එකහමාර මං හැමදේකින්ම ඈත්වෙලා අම්ම ළඟම හිටියා. අන්තිමටම මං සම්බන්ධ වුණේ නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයට. ඊට කලින් සම්බන්ධ වුණු චිත්‍රපට 4ක් හෝ 5ක් තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම ජෝජියා කියලා මං ආසාවෙන්ම කරපු හරිම ලස්සන ටෙලි නිර්මාණයකුත් එන්න තියෙනවා. ඒ නිර්මාණය හරහා ඉතාම ඉක්මනින් ප්‍රේක්ෂකයාට මාව දැකගන්න පුළුවන් වේවි කියලා හිතනවා.

ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය සිරි පැරකුම් සඳහා අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

ඇත්තටම ඒක මටවත් හිතාගන්න බෑ. පුංචි කාලෙ ඉඳන් රංගනයට තිබුණු ආසාව නිසා වෙන්න ඇති මට ඒ අවස්ථාව ලැබෙන්න ඇත්තෙ. එංගලන්තයේ පදිංචියට යන්න කලින් මං ළමා ශිල්පිනියක් විදිහට නිවේදනය, රංගනය වගේම වේදිකාවෙත් පොඩි පොඩි දේවල්වලට සම්බන්ධ වුණා. ඒ කාලෙ මගෙත් එක්ක හිටිය අය ලංකාවෙ ජනප්‍රිය චරිත වෙලා ඉන්නව දැක්කම අනේ මට කවදාවත් ආයි රඟපාන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑනෙ කියන දුකත් එක්ක මාත් ලංකාවෙ හිටිය නම් කියල හිතුණ අවස්ථා තිබුණා. ඒක මං මගේ අම්මටත් කියල තිබුණා. මගේ අම්ම දිනපතාම පත්තරේ බලන කෙනෙක්. දවසක් පත්තරේ දාල තිබුණ දැන්වීමක් දැකල අම්ම මට විහිළුවට වගේ කිව්වා ලියුමක් දාල බලන්න කියලා. ඒ දැන්වීම දාල තිබුණෙ සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය දෙපළ. නිකමට වගේ අපි ලියුමක් දැම්මා. තාත්තමයි ඒක ලිව්වෙත්. අපේ ලොකු නැන්දා මාලිනී ෆොන්සේකා කියන එක නිකමටවත් සඳහන් කළේ නැහැ. ටික දවසකින් කෝල් එකක් ආවා රේණුකා බාලසූරිය මහත්මියගෙන් ඔඩිෂන් එන්න පුළුවන්ද අහලා. සතියකට මං ලංකාවට ඇවිත් ඒකට ෆේස් කරලා ගියා. ඊටත් මාස හයකට විතර පස්සෙ තමයි විශාල පිරිසක් අතරින් ‘සිරිමල් එතනා‘ එහෙමත් නැත්නම් ‘නඟා‘ චරිතයට මාව තෝරගත්තෙ. එංගලන්තෙ ජීවත් වෙන කෙනෙකුට මේක කරන්න පුළුවන් වෙයිද කියන චකිතයත් අධ්‍යක්ෂිවරයාගේ හිතේ තිබිල තියෙනවා. පස්සෙ පස්සෙ ඔවුන් මට විහිළු කළා රට නෙවෙයි ලෝකෙම පීරල හොයාගත්ත සිරිමල් එතනා කියලා. කොහොමහරි චිත්‍රපටයට තෝරගත්තටත් පස්සෙයි ඔවුන් දැනගත්තෙ මං කාගෙ කවුද කියලා. එදා ඒ ආපු ගමන තමයි මේ.

පොඩි කාලෙ ඉඳන්ම විදෙස් රටක අධ්‍යාපනය ලබපු සෙනාලිට සිරිමල් එතනා අභියෝගයක් වුණේ නැද්ද?

විදෙස් රටක හිටියට මගේ ගෙදර වටපිටාව සම්පූර්ණයෙන්ම තිබුණෙ සිංහල විදිහට. කතා කළේ, කෑවෙ බිව්වෙ සිංහල විදිහට. අම්මයි තාත්තයි හිතාමතාම මාව සිංහල විදිහට හැදුව කියල මට හිතුණා. තාත්තා මට සිංහල පත්තර හයියෙන් කියවන්න පුරුදු කළේ වචන උච්චාරණය වගේම තේරුම අවබෝධ කරගන්න පහසු වෙන්න. මුලදි සමහර වචන උච්චාරණය කරපු විදිහ නිසා විහිළුවට ලක්වුණ අවස්ථාත් තිබුණා. ඒත් ඒව හරිම සුන්දර අත්දැකීම් බවට පත්වුණා.

රංගනයට ආසාව තිබුණට ඔබේ ඉලක්කය තිබුණේ වෙන පැත්තක්. නිළි රැජන මාලිනී ෆොන්සේකා කියන්නෙ ඔබේ නැන්දා. නැන්දගෙ උදවුවත් නැතුවම ඔබ කලාවට ආවම ඇය මොකද කිව්වේ?

මං ජීව විද්‍යා වෛද්‍ය අංශයෙන් අධ්‍යාපනය හදාරලා විද්‍යාඥවරියක් විදිහට උපාධිය සම්පූර්ණ කළා. නැන්ද වැඩිපුර කැමති වෙන්න ඉඩ තිබුණ මං ඒ පැත්තෙන් ඉහළටම ගියා නම්. ඒකට හේතුව නැන්දගෙ හීනය වෙලා තිබුණෙත් වෛද්‍යවරියක් වෙන එක. කලාවටම කැපවුණු නිසා නැන්දට ඒක මිස්වෙලා. ඊට පස්සෙ එයා අපේ තාත්තව ඒ පැත්තට යොමු කරවලා ඒ හීනය සැබෑ කරගන්න උත්සාහ කරල තිබුණා. ඒත් එයාගෙනුත් ඒ අවස්ථාව ගිලිහිලා ගිහින්. ඒ නිසා නැන්දගෙ හිතේ මං හරි ඒ පැත්තට යවන්න ලොකු කැමැත්තක් තිබුණා. ඒත් මං කලාවට ආව කියල ඇගේ අකමැත්තක් තිබුණෙත් නැහැ. කාලයක් මං එපාවීමක් නිසා පැත්තකට වෙලා ඉද්දි එයා කීවෙ. ඔයා කලාවට ආදරෙයි නම් ආයෙත් ඒ දේවල් කරන්න කියලා.

ඔබ කලාවට ඇවිත් දැන් වසර දහයක්. ඒත් ඔබේ නිර්මාණ දායකත්වය හරිම අල්පයි. මොකක්ද ඒකට හේතුව?

ඔව්. මං සිරි පැරකුම් සිනමා පටයට සම්බන්ධ වුණේ 2013 වසරේ. දැනට අවුරුදු දහයක්. ඊට පස්සෙ සම්බන්ධ වුණු හාරකෝටිය, නාඩගම්කාරයෝ කියන මෙගා නාට්‍ය දෙක ඇරුණම තවත් ටෙලි නිර්මාණ තුනකට හතරකට වගේ දායක වෙලා තියෙනවා. මාගේ හැකියාව පෙන්නන්න ලැබුණු නිර්මාණ තාමත් ප්‍රේක්ෂකයන් අතරට ආවෙ නැහැ. ඉදිරියේදී තිරගත වෙන්න තව චිත්‍රපට හතරක් වගේ තියෙනවා. සම්බන්ධ වුණ ටෙලි නිර්මාණ ප්‍රමාණය අල්ප වුණත් සිනමාවටත් වඩා ප්‍රේක්ෂකයන් මාව ආදරෙන් වැලඳ ගත්තෙ ටෙලි නිර්මාණ හරහා කියලයි මට හිතෙන්නෙ.

මවුපියන්ගෙ අසීමිත ආදරේ මැද සැහැල්ලුවෙන් හිටිය ඔබට පැවරුණ වගකීම් කන්දත් එක්ක කොහොමද තනියම ජීවිතේට මුහුණ දුන්නේ?

මම හිතන්නෙ මට මේ තරම් ශක්තිමත් වෙන්න පුළුවන් වුණේ අම්මටයි තාත්තටයි තිබුණු ආදරේ නිසාමයි. තාත්ත නැති වුණත් එක්ක මට සියලු වගකීම් දරන්න වුණා. අම්මගෙ සම්පූර්ණ වගකීම, ගෙදර වගකීම, ලංකාවෙ දේවල්වල වගකීම වගේම එංගලන්තයේ තියෙන දේවල්වල වගකිමත් භාරගන්න වුණා. හැමදේටම වඩා මට අම්මව බලාගන්න එක ගොඩක් ලොකුවට දැනුණා. තාත්ත අම්මව බලාගත්ත විදිහටම අම්මව බලාගන්න මට ඕන වුණා. 2020 වසරේ තාත්තා නැති වුණාට පස්සෙ 2021 වසරෙ මුලදි ආදරේ නිසාත් මට ගොඩක් දුක්විඳින්න වුණා. තාත්ත නැති වුණු දුකත් හංගගෙන කමක් නැහැ මං අම්ම බලාගෙන තනියම ඉන්නව කියන තිරණය මං ගත්තා. මට දුක දරාගන්න වුණේ අම්මට හොරෙන්. මුහුණෙන් මං ශක්තිමත් කියල පෙන්නුවට ඇතුළතින් මං කඩා වැටුණා. තවත් පැත්තකින් බැලුවම මං වාසනාවන්තයි කියල හිතුන අවස්ථාත් තිබුණා. අම්මට කවල පොවල, ඇඳුම් අරන් දීල, ඇවිදින්න එක්ක ගිහින් අම්මත් එක්ක ගත කරපු ඒ කාලයෙන් සුන්දර මතකයන් ටිකක් එකතු වුණා. ඒ මතකයන් මගේ හිතේ ගැඹුරින්ම තැන්පත්වෙලා තියේවි.

ඔබ එක තැනකදි කියනව ඔබ බලාපොරොත්තු වෙන්නෙත් තාත්ත වගේ කෙනෙක් කියලා?

පොඩි කාලෙ ඉඳන්ම මං දැක්කෙ මගෙ තාත්ත මගේ අම්මට තිබුණ ආදරේ. ආදරය, ආරක්ෂාව , ගරුත්වය වගේම අම්මගෙ මූණට නිතරම සතුටක්, සිනහවක් ගේන්න තාත්තා උත්සාහ කළ හැටි. ඒ කළ කැප කිරීම මං තාත්තගෙ ආදරේ තුළ දැක්කා. එයාල දෙන්න අතරෙ තිබුණෙ පුදුමාකාර සහයෝගයක්. බිංදුවෙන් පටන් ගෙන ගොඩනඟපු ජීවිතයක් එයාලට තිබුණෙ. ලංකාවෙ මෙච්චර දේවල් තිබිලත් මාවත් අරන් එයාල එංගලන්තෙට ගිහින් බිංදුවේ ඉඳන්ම ගොඩනැඟුණා. මෙයා පිරිමියා මෙයා ගැහැනිය කියල එයාලා සීමාවල්, නීතිරීති දාගෙන ඉන්නව මං දැකලම නෑ. ඒ තමයි මං දැක්ක ලස්සනම ආදර කතාව.

ස්වාමි පුරුෂයෙක් ඉන්න ඕන මෙන්න මේ වගේ ස්ටෑන්ඩර්ඩ් එකක කියන සිතුවිල්ල මං තුළ ඇති කළේ මගේ තාත්තා. ඒ ස්ටෑන්ඩර්ඩ් එක තමයි මාත් හොයන්නෙ. පිරිමිකම ලොකු කරගෙන ගැහැනිය හැමදේම කළ යුතුයි කියල හිතන, ගැහැනුන්ව පහත් කරල සලකන මානසිකත්වයක් තියෙන පිරිමින්ට මං කොහොමත් කැමති නෑ.

සෙනාලිටත් ආදරණීය අත්දැකීම් ඇති?

මමත් ආදරය කරල තියෙනවා. ඒ වගේම රැවටිලා දුක්විඳලත් තියෙනවා. ඒ හැම අත්දැකීමක්ම තමයි අද මේ ඉන්න සෙනාලිව ගොඩනඟන්න උදවු කළේ. ආදරය, රැකවරණය, විශ්වාසය, ගෞරවය, ආකර්ෂණය මේ හැම දෙයකම එකතුවෙන් තමයි ආදරය ගොඩනැඟිල තියෙන්නෙ. හැබැයි අද මං ඒ ආදරය තවත් පැත්තකින් දකිනවා. මෙතෙක් තේරුම් ගත්ත දේවල් එක්ක මානසික නිදහස, ගරුත්වය, සතුට, සුන්දර වචන වගේ දේවල්වල එකතුවකින් ලැබෙන අත්දැකීමක් තමයි මට දැන් ඕන කරන්නෙ.

සෙනාලිගේ ලස්සන පිංතූර ටිකක් බලන්න මෙතන CLICK කරන්න

උපුටා ගැනීම සිළුමිණ