🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඇසට හිත කතුරුමුරුංගා

ඇසට හිත කතුරුමුරුංගා

කතුරුමුරුංගා අප රටට දකුණු ඉන්දියාවෙන් ලැබුණු ගසෙකැයි සිතේ. මුරුංගා නම දෙමළ නමෙකි. එහි සිංහල නම මිරිකුළු යනු යි. කතුරුමුරුංගාවලට සිහල නමක් නැතිකම එය ඉන්දියාවේ අයගෙන් අපට ලැබුණෙකැයි සිතීමට තුඩු දේ. වැඩි වශයෙන් කොළ හා මල් ආහාර පිණිස ගැනුණ ද ගසේ සෑම කොටසක්ම බෙහෙත් පිණිස ගත හැකිය. මෙහි මැලියම් ද බෙහෙත් පිණිස ගැනේ. ආහාර පිණිස ගැනීමේදී කොළවලින් ලැබෙන ගුණයට වෙනස් ගුණයක් මල්වලින් ලැබේ. සාමාන්‍යයෙන් ගුණ වශයෙන් සලකන විට කතුරුමුරුංගා සෙම හා පිත නසයි. රුක්ෂ ගුණය නිසා වාතය වඩයි. සෙම නසන ගුණය ඇති නිසා මෙය කලක් තිස්සේ පවතින පීනස් රෝගයට හා ඇදුම රෝගයේ එක් වර්ගයකට ගුණදායකයි. 

පිත නසන ගුණය නිසා කල්ගත උණ රෝගයට ගුණයි. කල්ගත උණ යනුවෙන් මෙහිදී සැලකෙනුයේ බොහෝ කල් පවතින කැලෑ උණ නමින් දන්නා මැ‍ලේරියා උණ වර්ගයකට ය. මෙයින් මැ‍ලේරියා උණ සම්පූර්ණයෙන් සුව නොවුව ද, ඒ උණ නිසා හටගන්නා යම් යම් පීඩා සුව වේ. විශේෂයෙන් කොළ බේතක් වශයෙන් මෙන් ම ආහාරයක් වශයෙන් ද ගුණදායක යි. එයට හේතුව කොළ එළවළුවේ පවතින රේචක ගුණය යි. එනම් මල බුරුල් කර යෑමට උදව් දීමයි. මැ‍ලේරියා වැනි කල් අල්ලා සිටින ‘වල් උණ’ රෝගයන්හි දී එක්තරා විෂ කොටසක් ‍ලේවල නතර වේ. ඒ නිසා රෝගියාගේ හම ක්‍රමයෙන් කළු පාටට හැරේ. කතුරුමුරුංගා කොළ මැල්ලුම හෝ එළවළු ප්‍රමාණය වැඩි වන්නට කෑ විට එයින් මල බුරුල් වේ. විරේක මෙන් මල පිට වේ. මේ නිසා ‍ලේවල රැස්වී ඇති විෂ කොටස් බැහැර වේ. වෛද්‍ය ශාස්ත්‍රය අනුව බලන විට විරේකය නිසා පිත සමනය වේ. පිත ශ්‍රමනය වීමෙන් ද උණ අඩු වේ. කතුරුමුරුංගා කොළ තෙල් දමා සකස් කරගෙන කෑ විට බොහෝ දෙනාට බඩයාම ඇතිවනුයේ බඩ රිදීම ද ඇතිකරමිනි. කොළවල ශක්තිය බඩෙන් ඉවත් වූ පසු බඩ යාමත්, බඩේ වේදනාවත් අඩු වන නිසා කතුරුමුරුංගා කෑමට බියවිය යුතු නොවේ. මේ ගුණය ලබන්නේ මල බද්ධ කරන වෙනත් එළවළුවක් හෝ වෙනත් දෙයක් හෝ ඒ ආහාරය සමග නොගත් විටය. බඩයාම නිසා ශරීරයේ ද්‍රව කොටස් ද පිට වේ. ඒ සමග ශරීරයේ ස්වභාවයෙන් පවතින තෙල් ප්‍රමාණයක හානිය ද ඇති වේ. මේ හේතුකොට ගෙන වාතය කෝප වෙයි. ඒ නිසා කතුරුමුරුංගා කොළ වැඩිවන්නට කා බඩයාම ඇති වූ පසු බොහෝ දෙනකුගේ ඇඟපතේ කැක්කුම හටගනී. අප රට අය වාත කැක්කුම යැයි කියනුයේ මෙබඳු වේදනා ඇතිවිට ය. ඇතැම් විට වෙනත් දෙයක් සමග කතුරුමුරුංගා කොළ වැඩියෙන් කෑ පසු සමහර අයට බඩ යෑම ඇති නොවී, බඩ තද වූවාක් වැනි ගතිය ඇති වේ. එසේ වනුයේ කොළ ආහාර මාර්ගයේ අවහිර වීම නිසාය. 

මෙසේ ඇතිවිට පිටේ උරහන්දිපත් කටු යට ඉවසුම් නොදෙන වේදනාවක් හටගනී. මෙය දුරු කිරීම පිණිස කළ යුත්තේ වේලක් දෙකක් සුළු ආහාරයක් පමණක් ගැනීම යි. වරක් මල පිරිසිදු වූ පසු ඒ වේදනා සියල්ල දුරු වේ. කතුරුමුරුංගා මල් ශීත ගුණ සහිතයි. මැ‍ලේරියා රෝග මර්දනයට ගුණදායක යි. ඇස්වලට විශේෂයෙන් හිතයි. කුඩා කාලයේ ශරීරයට විශේෂයෙන් අවශ්‍ය ඇතැම් ‍පෝෂණීය කොටස් හිඟවීම නිසා ළමයිනට මාන්දම් රෝගය හට ගනී. ඒ මාන්දම් රෝගය නිසා පසු කලෙක පහළ වන උපද්‍රවයක් නම් ‘රෑ කණ’ රෝගය ඇතිවීමයි. දවාලට ඇස් පෙනුණත් රෑට ඇස් නොපෙනීම රෑ කණ රෝගයේ ලක්ෂණය යි. මෙය වෙන වෙන හේතු නිසා ද ඇතිවිය හැකි යි.

ඇස්වලට ලැබිය යුතු ‍පෝෂණීය කොටස් හිඟය නිසා ‘රෑ කණ’ පීඩාව ඇතිවූයේ නම් එබඳු අයට කතුරුමුරුංගා මල් ව්‍යංජනය ඉතා ගුණදායකයි. මේවා ශීත ගුණ සහිත වුවද එයින් සෙම් කෝපයක් ඇති නොවේ. එම නිසා පීනස් රෝගයට ද කතුරුමුරුංගා මල් ඉතා ගුණයි. තොල් කට පැළෙන රෝගයේ දී කතුරුමුරුංගා මල් තලතෙල් හා එළඟිතෙල් සමග මිශ්‍ර කර තම්බා කන්නට දීම ගුණදායක යි. මාන්දම් රෝගය ඇතිවීමට තෙල් කොටස් ප්‍රමාණවත්ව නොලැබිම හේතුවන නිසා තලතෙල් හෝ එළඟිතෙල් මිශ්‍ර කර ගත් විට කතුරුමුරුංගා මලෙන් ලැබෙන ගුණය වැඩි වේ. එළඟිතෙල් අප්‍රිය අයට මේවා එළකිරෙන් තම්බා කන්නට දීම මැනවි.

කලක් තිස්සේ පවතින පීනස සහ කැස්ස රෝගයේදී කතුරු මුරුංගා මල් හා ආඩතෝඩා කොළ දෙවර්ගය තම්බා ගත් වතුර බිම ගුණ ය. මේ වතුරට මී පැණි ස්වල්පයක් ද මිශ්‍ර කර ගතහොත් ගුණය වැඩි වේ. අපස්මාරය හෙවත් මීමැස්මොර රෝගයේ දී ද කතුරුමුරුංගා කොළ මෙන්ම මල් ද ගුණ යි. මේ මල් ගොටුකොළ සමග එක්කර ගිතෙල් සමග කන්නට දීම මීමැස්මොරයේ දී ගුණය. මෙයින් රෝගය සම්පූර්ණයෙන් සුව නොවූව ද පීඩාව මැඬපැවැත් වේ. සමහර කාන්තාවන්ගේ දරුමගින් නිතර සුදු දියරයක් ගලයි. එය ද පීනස් රෝගයට සමාන එකකි. එබඳු අවස්ථාවල දී කතුරුමුරුංගා කොළ අමු කහ යන දෙවර්ගය තම්බා ගත් වතුරෙන් දරුමග සේදීම ගුණ දෙන වෙදකමකි.

රාජකීය පණ්ඩිත විලියම් අල්විස්ගේ එළවළු ගුණ ‍පොතෙන්  

උපුටා ගැනීම රිවිර