🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නිරෝගී කෙස් කලඹක්

නිරෝගී කෙස් කලඹක්

යුවතියකගේ රූ සපුව ගැන කතා කරද්දී හිස කෙස් කියන්නේ අමතක කරන්නම බැරි සාධකයක්. කාන්තාවන් විතරක් නෙවේ තමන්ගේ බිරියට පෙම්වතියට දිග කෙස් කලඹක් තියෙනවා දකින්න පුරුෂ පාර්ශ්වයත් හරිම කැමැතියි. ඉස්සර කාලේ හිස කෙස් ගැන කතා කරද්දී බොහෝවිට කතා බහට ලක් වුණේ දිග කියන සාධකය. නිතඹට පහළින් කෙස් දිගට තිබෙන්න ඕන කියන කාරණය තමයි පැරැණි සමාජය තුළ වැදගත් වුණේ. කිතුල් රෑන, මොනර පිල වගේ අන්වර්ථවලින් කේශ කල්‍යාණිය හඳුන්වන්න පවා මෙය හේතුවක් වුණා. ඒ හැර තද කළු පැහැයත් එදා ප්‍රධාන වුණා. නමුත් කෙස්වල නිරෝගී බව කියන්නේ එයටම නොවේ. මූලිකව හොඳින් වැඩුණු, ගන හිසකෙස් තමයි ප්‍රධානතම සාධකය. වියළි නැති, රළු නැති, කෙස් අග පැළීම් නැති නම් එම කේශ කලාපය නිරෝගී කියලා කියන්න පුළුවන්. නමුත් බොහෝ දෙනකුගේ කෙස් මේ කියන තත්ත්වයෙන් දකින්න නැහැ. එයටත් ප්‍රධාන හේතු කිහිපයක්ම තිබෙනවා.

  • අවේලාවේ ස්නානය.
  • ඉක්මනින් පාරිසරික වෙනස්වීම්වලට ලක්වීම. (වායු සමීකරණයේ සිට එක්වරම හිරු එළියට නිරාවරණය වීම හෝ හිරු එළියේ සිට වායු සමීකරණයට පැමිණීම.)
  • හිසට යොදන කෘත්‍රිම අලේපන - ආලේපන බාල හෝ කල් ඉකුත් වූ ඒවා වීම හා හිසට හානියක් නොවන ලෙසට යෙදීමට ඇති නොදැනුම්වත් බව.
  • හිසේ පවතින රෝග. (හිස් හොරි, උඳුගොව්වා කෑම)
  • වියළි බව.

පෝෂණ ඌනතා ගැටලු. ප්‍රතිකාර :

  • නිතර හිස කෙස් හා හිස් කබල පිරිසුදුව තබාගන්න. එහිදී පිරිසුදු කිරීම සඳහා කෘත්‍රිම ආලේපන භාවිත කිරීම අවම වීම.
  • හිස කෙස් නිසි පරිදි හොඳින් වියළා ගැනීම.
  • නිතර තදින් ගැට ගසාගෙන සිටීමෙන් වැළකීම හා හැකි තරම් වේලාවක් හිස කෙස් සැහැල්ලුවෙන් තබා ගැනීම.
  • ස්වාභාවික ආලේපන භාවිතය.
  1. ගොඩපර ඉස්ම ගැල්වීම.
  2. නිල් අවරිය කොළවල යුෂ ගැල්වීම.
  3. අරළු, බුළු, නෙල්ලි තම්බා ඒ වතුරෙන් හිස සේදීම.
  4. දෙහි ගැට හා උළු හාල් තම්බා ඉස්ම ගැල්වීම
  5. වෙරළු කොළ තම්බා එම වතුරින් හිස සේදීම.
  6. රතු පොකුරු වද මල් යුෂ ගැල්වීම.
  7. මරතොණ්ඩි කොළ අඹරා යුෂ ගැල්වීම.

මෙම ප්‍රතිකාර සතියකට වරක් දෙවරක් කිරීමෙන් කෙස් වර්ධනය වීම, කළු පැහැ වීම, ගනව දිගු වීම සිදුවේ. එසේම හිස් කබලේ රෝග සඳහාද මෙම සත්කාරය ප්‍රතිඵලදායක වේ. වඩා හොඳින් හිරු එළිය පවතින වේලාවට නෑම වඩාත් සුදුසු වේ. ආයුර්වේදයේ සඳහන් පරිදි හිරු අවරට යෑමට පෙර ස්නානය ප්‍රතිඵලදායකය. ඉන් ස්වාභාවික හිරු එළියෙන් හිස වේළාගත හැකිවේ. හිසට ගැල්වීමට නීල්‍යාදී තෛලය, නිර්ගුණ්ඩ්‍යාදී තෛලය, ත්‍රිපලා තෛලය, මයුර මාණික්‍ය තෛලය, තැඹිලි පොල් තෙල්, පොල් තෙල්, තල තෙල් ආදී තෙල් වර්ග සුදුසු වේ.

වෛද්‍ය කෞමදී කරුණාගොඩ ස්ත්‍රී රෝග හා ප්‍රසව තන්ත්‍ර පිළිබඳ විශේෂඥ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී - දේශීය වෛද්‍ය විද්‍යායතනය

උපුටා ගැනීම මව්බිම පුවත්පත