🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගෑණු ළමයෙක්ගේ කකුලක් පේන එක පවක්ද?

යුරේනි නොෂිකා.. කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ සමාජේ කටගැස්මක් වෙන කලාකාරිනියක්. ඇය පහුගිය කාලෙත් සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක්වුණේ අමුතුම විලාසිතාවක් හේතුවෙන්. ඉතින් ඇයට ඒ ගැන තියෙන්නේ මොනවගේ අදහසක්ද? ඇය ඒ ගැන අපිට කිව්වා. ඒත් අපි හිතුවා ඇයගේ මේ දවස්වල වැඩකටයුතු ටිකක් අහලම කතාව පටන්ගන්න.

‘‘මේ දවස් හොඳින් ගෙවෙනවා. ලොක්ඩවුන් එකෙන් පස්සේ ටිකක් කාර්යබහුලයි. තිසර ඉඹුලානගේ, සාලින්ද රත්නායකගේ නාට්‍යයන් කිහිපයක්. ගොඩ කාලෙකින් නාට්‍ය තුනකට එකපාර සම්බන්ධ වෙන්නේ.’’

පහුගිය කාලේ හොඳ වික්‍රමාන්විත ක්‍රියාවල නිරත වුණා කියලා ආරංචියි…
ඔව් පහුගිය කාලෙනම් හොඳ ඇඩ්වෙන්චර්ස් බොහෝමයක නිරත වුණා. Diving කළා. හොඳට ඇවිද්දා. එක එක වැඩ නිසා මගේ ජීවිතේ මම ආස කරපු ගොඩක් දේවල් මගහැරුණා. දැන් මේ නාට්‍යවල වැඩකටයුතු ඉවර වුණාම ජනවාරි මාසේ හිතන් ඉන්නවා කන්දක් නගින්න යන්න. Sky diving ආසාවත් කොහොමහරි ඉෂ්ට කරගන්න ඕනේ. මම හරිම කැමැතියි ඇඩ්වෙන්චර්ස්වලට. හැබැයි ඒ වගේ දේවල් තනියම කරන්න කම්මැළියි. ඒ නිසා තමයි වැඩියෙන්ම මට ඔය කැමැති දේවල් කරන්න පරක්කු වුණේ. නමුත් මම හිතුවා කවුරුත් ඕනේ නෑ මමම මං කැමැති දේවල් postponed නොකර තනියම හරි කරනවා කියලා. ජීවිතේ හැම මොහොතම මම විඳිනවා.’’

පහුගිය සතියේ ඇඳුමක් නිසා මොකද්ද වුණ අවනඩුව?
ඒක ලංකාවේ සාමාන්‍ය පුරුද්දක්නේ. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළවක්. ඒ අවුරුදු පහළවේම මම විවිධ විලාසිතා කළා. ඒ අතරේ ඔසරියේ ඉඳන් කොට ගවුම වෙනකල්ම ඇඳලා තියෙනවා. මම නම් ඔය කියන කතා කිසිම දෙයක් ගණන් ගන්නෑ. මාව ළඟින් ආශ්‍රේ කරන මිනිස්සු දන්නවා මම විලාසිතා කරන විදිහ ගැන. ඒවා හරිම වෙනස්. ඉතින් සමහරු ඒ විලාසිතාවලට එකඟ වෙනවා. සමහරු එකඟ වෙන්නෙ නෑ. එකඟ නොවුණා කියලා මම ආස කරන ඇඳුම් මම නොඇඳ ඉන්නෙත් නෑ. විලාසිතා කරන එක නවත්තන්නෙත් නෑ. අවුරුදු අසූව පැන්නත් මම විලාසිතා කරනවා.

ගෑනු ළමයෙක්ගේ කකුලක් පේන එක ලොකු පවක් විදිහට සලකන කට්ටිය ඔවුන්ගේ ජීවිතේ ඊට වඩා පවු රැස් කරගන්නවා තව මනුස්සයෙක්ට හිනාවෙලා. කියමනක් තියෙනවනේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. ඉතින් මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළවක් ගිහිල්ලත් මිනිස්සු මට එක එක දේවල් කියනකොට මම තවමත් ඵල දරන හොඳ රුකක් කියලා. ඉතින් මට ආඩම්බරයි. සතුටුයි.

ඒ මඩ ගහන අයට පිළිතුරක් විදිහටද එකයිනෙ දැක්කෙ මෙන්න දෙකක් කියලා ටික්ටොක් එකක් කළේ?
අයියෝ… නෑ. ඒක මම විහිළුවට කරපු දෙයක්. ඔය කමෙන්ට් දාන ගොඩ අයත් විහිළුවට තමයි දාන්නේ ඒවා. සමහර කමෙන්ට්ස් දැක්කම මගේ ලේ හොඳට පිරිසිදු වෙනවා. මරු කමෙන්ට්ස් තියෙනවා. කොහෙන් එනවද දන්නෑ ඒ අයිඩියාස්. ඉතින් මට හිතුණා එයාලා මට දෙන ආතල් එකට මම පෙරළා ආතල් එකක් දෙන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් මම ඒ ටික්ටොක් එකක් දැම්මේ එකට දෙකයි කියලා. එක එක්කෙනා කියන කතා අහලා අපි අපේ ජීවිතේ වෙනස් කරගන්න ගියොත් අපේ හොඳ කාලේ ගෙවිලා යනවා. අපෙන් කාටවත් කරදරයක් නැත්නම් අපිව ඇයි කවුරුත් කරදරයක් කරගන්නේ?

පොඩි කාලේ තිබුණ අනාගත බලාපොරොත්තුවද මේ කලාවත් එක්ක හැබෑ වෙලා තියෙන්නේ?
මේ වෘත්තිය මම හීනෙන්වත් නොහිතපු වෘත්තියක්. හීනෙන්වත් හිතුවෙ නෑ නිළියක් වෙන්න ලැබෙයි කියලා. මම හැදුණ හොස්ටල් එකේ අවුරුදු දොළහක් යනකල් ටීවී බලන්න දුන්නෙත් නෑ. මම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ නීතිඥවරියක් වෙන්න. අහම්බෙන් තමයි කලාවට සම්බන්ධ වෙන්නේ. ඊටපස්සේ love at first sight වගේ ගොඩක් ආදරෙන් බැඳුණා.

තනියම ජීවත් වෙද්දි පාළුවක් දැනෙන්නේ නැද්ද?
පාළුවක් තියෙනවා. ඒත් දැන් ඒ පාළුවට හුරු වෙලා. චූටි කාලේ ඉඳන් මේ වෙනකල්ම මම තනියමනේ හිටියේ. ඒක දැන් සාමාන්‍ය දෙයක්.

පාළුවට සුරතල් සතෙක්වත් නැද්ද ඉතින්…
අනේ නෑ. සුරතල් සතෙක් ඇති කරන්න මට වත්තක් නෑ. මම ඉන්නෙත් කුලියටනේ. අනිත් එක සත්තු ඇති කරන්න මට ලොකු කැමැත්තකුත් නෑ.

යුරේනි අක්කා කාලෙක ඉඳන් තකිකඩයි. විවාහයක් ගැනත් අදහසක් ඇති..
ම්.. අනේ මන්දා. විවාහයක් වෙනව නම් වෙයි. මම ලොකුවට ඒක පස්සෙ පන්නන්නෙ නෑ. මැරෙනකල් මට හිතේ සතුටින් ඉන්න තිබ්බනම් ඇති. අතීතයේ හිත ගියපු අය ඉන්නවා. නමුත් ඒවා හරිගියෙත් නෑ. අනික මම කවුරුත් එනකල් බලන් ඉන්නෙත් නෑ. මගේ ජීවිතේ ගැන සතුටු වෙන්න මට පුළුවන්. කවුරුහරි කෙනෙක් ඒ සතුට දෙගුණ කරන්න ආවොත් එහෙමයි. නාවොත් එහෙමයි. ඒත් මම සතුටින් ඉන්නවා. ප්‍රශ්න නෑ.

සාමාන්‍යයෙන් ගෙදර රැඳෙන දවස් ගෙවෙන්නේ කොහොමද?
මම කැමැතියි චිත්‍රපට බලන්න. පොත් කියවනවා, ජිම් එකට යනවා. ගෙදරත් උදව්වට කවුරුත් නෑ. ඉතින් මමම තමයි ගෙදර අස් කරන්න, රෙදි හෝදන්න, උයන්න ඕනේ. හැබැයි මට ලොකුවට උයන්න බෑ. මට කන්න පුළුවන් විදිහට උයාගන්නවා. ඔහොම තමයි නිවාඩු දවස් ගෙවෙන්නේ. මේ දවස්වලනම් ලැබිලා තියෙන නාට්‍යවල ස්ක්‍රිප්ට්ස් කියවන ගමන් ඉන්නේ.

ඉදිරියේදී රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් එහෙම ඇති..
මම කැමැතියි ඇක්ෂන් චිත්‍රපටයක රඟපාන්න wonder women වගේ. තව ආසයි ජීවිතේ දිනපු කාන්තාවකගේ ධෛර්ය, එඩිතරකම ගැන කියවෙන නිර්මාණයකට සම්බන්ධ වෙන්න. මට ජයලලිතාගේ ජීවිත කතාවෙන් හදපු Thalaivi චිත්‍රපටය දැක්කම ඒ වගේ දේක රඟපාන්න ලොකු ආසාවක් ආවා. නමුත් ලංකාවේ සිනමාව තුළ එවැන්නක් ගැන හීන මවන්න අමාරුයි. ඉතින් ඒ ආසාවල් හිත ඇතුළෙම තියන් මම ලද දෙයින් සතුටු වෙනවා.

එරංදි කෞශල්‍යා
උපුටා ගැනීම අරුණ